ශ්‍රී ලංකාව බිහිසුණු සමාජ ආර්ථික ව්‍යවසනයකට ගොදුරුවී ඇත

අපේ ජීවිත අපේක්ෂාව අවුරුදු - 70 ජනගහන වර්ධන වේගය - 0.9% ක්‍රම ක්‍රමෙයන් වදවී යන ජාතියකි. බුද්ධිමත් ජාතියක් වෙමු. ජාත්‍යන්තර කීර්තිමත් විශේෂඥයින් ලෙස සේවය කරන ශ්‍රී ලාංකිකයෝද බොහෝ වෙති. එහෙත් අප සමාජයේ මන්දපෝෂණය ඉහළයි. දරුවන් අතර මන්දපොෂණය 35% ක් පමණ වේ. ගැබිණි මව්වරුන් අතර ලේ අඩුකම නිසා උපදින බොහෝ දරුවන් මිටි අය වන අතර මන්දපෝෂණයෙන් පෙළෙති. මේ ආකාරයට අපේ ඊලග පරම්පරාවට කුමක් වේද? මත්පැන් මත්කුඩු වලට ඇබ්බැහි වූ වෝ 65% ක් වේ. සිරකරුවන් දින දින වැඩිවෙති.

ආබාධිත පුද්ගලයන් ජනගහනයෙන් 7% කි.

යුද්ධය නිසා ආබාධිත වූවන් 10,000 ට වඩා වැඩිය. අවුරුදු 60 වඩා වැඩි ජනගහනය 10% කි.

2050 දී 25% ක් වැඩිහිටි අය වෙති. ස්වාමියා නැති ගෘහ මූලික කාන්තාවන් 20% කි සියදිවි හානි කරගන්නා රටවල් අතර ලංකාව ප්‍රමුඛස්ථානයක් ගනී රට දෙකඩ කිරීමට දෙමළ ඩයස් පෝරාව බලපෑම් කරති. අප ජාත්‍යන්තරව නන්නත්තාර කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය බලපෑම් කරමින් සිටී. අප රට ආශ්‍රිතව තම බලය තහවුරු කරගැනීමට ඉන්දියානු, අමෙරිකානු, චීන බලපෑම් එල්ල වී ඇත.

අපගේම නිෂ්පාදන අවම වන අතර සියල්ල ආනයනය කරනු ලැබේ

මැදපෙරදිග රැකියාවල නියුතු අයගේ නුපුහුණු ශ්‍රමයෙන් ලැබෙන විදේශ විනිමයෙන් යැපෙමු

ග්‍රාමීය ණයගැතිභාවය දිනෙන් දින වර්ධනය වේ

පාසල් දරුවන්ගෙන් 60% ක් 12 වන වසරට පෙර පාසල් හැරයති. බෝ නොවන රෝගවල සීඝ්‍ර ව්‍යාප්තියක් දක්නට ලැබේ. දරුවන් අතර ආතතිය හා හෘදයාබාධ වැඩිවී ඇත. ජනතාව අතර ඇතිනැති පරතරය වැඩිවෙමින් පවතී. තරුණ පිරිස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම වැඩිවී ඇත. මානසික ආබාධ සහිත වූවන් වැඩිවී ඇත. ගබිසා කිරීම් වසරකට 175000 ඉක්මවති. දෙමාපියන් විසින් දරුවන් විකිණීම, මහමග දමා යාම, මරාදැමීම වැනි ක්‍රියා දක්නට ඇත. දූෂණ වංචා සදහා නමගිය රටකි. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය සඳහා කේන්ද්‍රස්ථානයක් වී ඇත. ස්ත්‍රී දූෂණ, සමූහ ස්ත්‍රී දූෂණ වැඩිවී අරුත දරුවන් කාම අපරාධ සඳහා යොදා ගැනීම වැඩිවී ඇත සෑම දරුවන් තිදෙනෙකුගෙන්ම එක් අයෙකු දූෂණයට ලක් වේ වසරකට දරුණු අපරාධ 50,000 වඩා වැඩිවී ඇත තහනම් ගිනිඅවි භාවිතය වැඩි වෙමින් පවතී. පරිසර හානිය සහ වන විනාශය දිනෙන් දින වැඩිවේ. ජාති ආගම් කෝලාහල වරින් වර ඇති වේ.

මිනීමැරුම් මංකොල්ල කෑම් ගැන දිනපතා අසන්නට ලැබේ.

තරුණ නැගිටීම් සහ ජාතිවාදී කැරළිකෝලහල නිසා දැනට තරුණ ජීවිත ලක්ෂගණනක් විනාශවී ඇත.

ජාතික අසමගිය දිගුකාලීන ප්‍රශ්නයක්ව ඇත.

ජාතීන් අතර ඇති අනවබෝධය, සැකය, බිය වර්ධනය වෙමින් පවතී.

මේ සියල්ලෙන් අප රට වටවී ඇත. මේවා දැක දැක ඒවා විසදීමට කටයුතු නොකරන අපත් රටේ ගස් ගල් අතරත් වෙනසක් පවතීද?

මෙම තත්වයට පත්වී ඇත්තේ ඇයි? ඒ පිළිබඳ හේතුඵල විශ්ලේෂණයක යෙදෙමු

මෙම තත්වයෙන් මිදීමට කළයුතු දේ (අදාල හේතූන් නැතිකිරීමයි )

අද අපට අවශ්‍ය වෙනස කුමක්ද ?

" අළුත් මනුෂ්‍ය සභ්‍යත්වයක් ඇතිවීම අත්‍යවශ්‍යයි " - ඊ. ඩබ් අදිකාරම් පැරණි සභ්‍යත්වයක් බිදවැටී ඇත්තේ ධර්මය ක්‍රමයෙන් තුරන් වී ගොස් ඇති නිසාය. බිදවැටී යන ඒ සභ්‍යත්වය වෙනුවට මනුෂ්‍ය ධර්මය පදනම් කර ගත් අළුත් සභ්‍යත්වයක් ගොඩනැගිය යුතුව ඇත. මනුෂ්‍ය වර්ගයාගේ අනාගත පැවැත්මට අතිශයින් අවශ්‍ය වූ අළුත් මනුෂ්‍ය සභ්‍යත්වයන් දේශපාලනඥයින්, ආගමික නායකයින්, ධනවතුන් හා සැපයට පත්වීමේ ආශාවන් ඇත්තවුන් අතරින් බිහිනොවේ. එය බිහිවිය හැක්කේ ඒවාට අයත් නොවන ස්වල්ප දෙනෙකු මතිනි. මීට වර්ෂ විසිපහකට පමණ පෙර ලෝකයේ අලුත් සභ්‍යත්වයක් ඇති වූයේ එවැනි ස්වල්ප දෙනෙකු නිසාය. නුදුරු අනාගතයේදීද මනුෂ්‍ය වර්ගයාට ගැලවීමක් ඇති වුවහොත් ඒ ඇති වන්නේ ද එවැනි පිරිසක් නිසාය. - ඊ. ඩබ් අදිකාරම් ( සිතිවිලි ප්‍රකාශනයෙන් උපුටා ගැණුනි )

දැනට උද්ගත වී ඇති භේද භින්නකාරී විනාශකාරී අර්බුදය හෙවත් ව්‍යසනය කිසිදා නොදුටු විරූ තරම් විශේෂ තත්වයකි. කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට දැක ඉවත බලාගත නොහැකි තත්වයක් වර්තමානයේ උද්ගතවී ඇත. එසේ කිරීම අප සැමගේ අවසානය වනු ඇත. ඉතා සීමිත වූ අප සම්පත් විනාශ කරනු ලැබීම හෝ පෞද්ගලික වාසිය සදහා යොදාගැනීම තව දුරටත් ඉවසා බලා සිටිය හැකිද? කුඩා කර්මාන්ත, කෘෂිකර්මාන්ත කඩා වැටෙනු බලා සිටිය හැකි ද? ණය බරින් මිරිකෙමින් තව දුරටත් ජීවත් විය හැකිද? එසේ ලබා ගන්නා ණය මගින් වුවද එම වටිනාකමට සාපේක්ෂව සමාජ හෝ ආර්ථික දියුණුවක් ඇතිවී නැත. අපේ දරුවන්ගේ අනාගතය අදුරුය එබැවින් යහපත් විප්ලවීය වෙනසක් අවශ්‍යය මේ තත්වය යටතේ රටේ සිටින දක්ෂයෝද රට හැර යනු ඇත. දේශපාළනඥයන්ගෙන් හෝ පාලකයන්ගෙන් තවදුරටත් නව ප්‍රතිපත්ති හෝ වැඩ සටහන් බලාපොරොත්තු විය නොහැක. එබැවින් ජාති ආගම් භාෂා පක්ෂ පාට භේදයකින් තොරව සෑම දෙනා එකට එක්කල හැකි ප්‍රතිපත්තියක් මත රට ගොඩනැගීම ජනතාව හෙවත් අපගේ වගකීම වේ. මේ සදහා අදාලවන ප්‍රතිපත්තීන් මොනවාද?

අප දන්නා තරමට එවැනි ප්‍රතිපත්ති ගැබ්වී ඇත්තේ බෞද්ධ දර්ශනයේ ය. ඒ උතුම් ප්‍රතිපත්ති නොපිළිපැදීම නිසාම අද අපි මෙම තත්වයට පත්ව සිටින්නෙමු. අප බෞද්ධයන් බවට පත්ව ඇත්තේ නමට පමණකි. අද බෞද්ධ සමාජය සරල බෞද්ධ ඇදහීම් නඩත්තු කිරීම, අලුත් පුද පූජා හදුන්වා දීම, රූපවාහිනී නාලිකා ඔස්සේ ධර්මය දේශනා කිරීම, පෝය දිනවල සීල භාවනා වැඩසටහන් පැවැත්වීම, හැර බුදු දහමේ පැවැත්ම හෝ එමගින් රටේ ජාතියේ දියුණුව සදහා ක්‍රියාත්මක වන වැඩ පිළිවෙලක් දක්නට නොමැත. එබැවින් දහම පිළිපැදීමට කැමති කුඩා ජන කණ්ඩායම් ඒකරාශී කොටගෙන දැහැම් දිවිපෙවෙත ස්ථිර සාරව ව්‍යාප්ත කිරීම මගින් අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කර ගත හැකිවේ.

ධම්මෝ හවේ රක්ඛථ ධම්මචාරී

දහම දැහැමියා රකී යයි බුදුන්වහන්සේ දේශනා කළ සේක.

බෞද්ධ ප්‍රතිපත්ති රැකීමෙන් හා බුදුන් වහන්සේගේ ඉගැන්වීම් පිළිපැදීමෙන් අපට රැකෙන්නට පමණක් නොව දියුණුවන්නටත් පුළුවන්

උන්වහන්සේගේ ඉගැන්වීම් පරලොවට පමණක් නොවේ.

මෙලොව පරලොව දෙකෙහිම දියුණුව සදහායි

එවැනි දහමක් දන්නා අදහන අපි ඒ දහම අනුව කටයුතු නොකරන්නේ ඇයි?

ඒ අනුව බලන කල ජාතියේ හා ආගමේ විනාශයට වගකිව යුත්තෝ අපම වෙමු. අන් අයට දොස් කීමෙන් පලක් නැත.

එක්සත් ජාතීන්ටත් හොදනම් අපට?

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියාකාරීත්වය සදහාද බුදුදහම මාරගෝපදේශක මූලාශ්‍රයක් කොටගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය කිසිදු ආගමකින් උපත නොලැබූ වකි. එහෙත්, මැදුම් පිළිවෙත, මෙත්තා, කරුණා හා සමානාත්මතාවය යන බුදුන් වහන්සේගේ ඉගැන් වීම් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙහි සාරාංශගතව ඇති බව එම සංවිධානයේ සභාපති ලයිමාක් මහතා සදහන් කරයි. ජාතීන් අතර සාමය සහ ජනතාව අතර සාමය උදාකරලීම සදහා ද එම ඉගැන්වීම් වැදගත් බව ඔහු තවදුරටත් සදහන් කරයි.(1918 වෙසක් දා පනිවුඩය)

මේ අතර එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගොටරේස් මහතා ද මානව වර්ගයාගේ ගෝලීය ගැටළු නිරාකරනය කර ගැනීම සදහා බුදු දහමේ ඇති වැදගත්කම පෙන්වා දෙයි. වර්තමාන ලෝකයට බලපාන සමකාලීන ගැටළු විසදීම සදහා බුදුන් වහන්සේගේ ධර්මය ඉතා වැදගත් බව ඔහු පෙන්වා දෙයි. ගෝලීය ගැටුම් වල මූල සාධක වන වෛරය තන්හාව ආදී කරුණු මුලිනුපුටා දැමීමෙන් මෙම විශ්වීය දුක් විදීම අවසන් කළ හැකි බව ඔහු තවදුරටත් පෙන්වා දෙයි.(1918 වෙසක් දා කල දේශනයකින් උපුටා ගැණුනි)

තිරසර සංවර්ධනය සදහා වූ 2030 එක්සත් ජාතීන්ගේ න්‍යායපත්‍රය සැකසීමේ දීද මෙම ඉගැන්වීම් යොදාගත් බව ඔහු පවසා ඇත.

මේ අයුරින් බලන කල දේශීය ගැටළු විසදා ගැනීම සදහාද බුදුන් වහන්සේගේ ඉගැන්වීම් යොදාගත හැකිය. ශ්‍රී ලාංකික අපට එම ඉගැන්වීම් හොදට හුරු පුරුදුය. එහෙත් ගැටළුව වී ඇත්තේ අප එය පිළි නොපැදීමයි.

ඉහත දැක්වූ පරිදි බලන කල බෞද්ධ ඉගැන්වීම් හා ප්‍රතිපත්ති බෞද්ධ ආගමිකයන්ට පමණක් නොව ලෝවැසි සියළු දෙනාටම සාධාරණ වේ. එසේ නම් ජාති ආගම් කුලභේද ඉක්මවා යන මෙම ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් හා පිලිපැදීමෙන් අපට අපේරට යළි ගොඩනගා ගත හැක.

බෞද්ධයෝ ප්‍රඥාවන්ත පුද්ගලයෝය

ප්‍රඥාවන්තව ධාර්මිකව කටයුතු කර කටයුතු කර දැනට පැමිණ ඇති උවදුරු වලින් මිදෙමු.

ධම්ම යන වචනය බුදු දහමට පමණක් සීමා වන්නක් නොවේ. ධම්ම යනු ධාර්මික භාවය පිළිබඳ විශ්වයේ හා ස්වභාදහමේ නීතියයි. එය පරම සත්‍යයයි. බුදු දහම මගින් කර්මය හා එහි ඵලය, චතුරාර්ය සත්‍යය, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය ආදී වශයෙන් විස්තර වන්නේ ද එයයි. ධර්මයෙහි විස්තර වන මූලික කරුණු අවබෝධ කරගෙන පිළිපැදීමෙන් අපගේ අනාගතය යහපත් කරගත හැකි ආකාරය පහසුවෙන් දැනගත හැක. ධර්මය නොදන්නා අය පහසුවෙන් නොමඟ යා හැක. ධර්මානුකූලව ජීවත්වීමෙන් පුද්ගලික දියුණුව ළඟා කර ගත හැක. එමගින් සමාජමය දියුණුවද අත්පත් කරගත හැක. අද දක්නට ලැබෙන සමාජ ප්‍රශ්න එක් ආගමකට පමණක් විසඳිය නොහැක. පුළුල් සමාජ ජාලයක ජීවත්වන අප විවිධ වූ ආගම් හා ජාති භේද හැරදා සහයෝගිතාවයෙන් යුක්තව කටයුතු කළ යුතු වෙමු. බුදුන් වහන්සේ දේශනා කොට ඇත්තේ මෙලොව මෙන්ම පරලොව සැපත ද ළඟා කර ගන්නා ආකාරයයි. ඒ සඳහා පළමුව අප අපගේ අභ්‍යන්තරයට අවධානය යොමු කළ යුතුය.
නිදහස, සතුට, සාමය හා ආරක්ෂාව ළං කර ගැනීමට නම් අප වෙත දුක ළඟා කරගත දෙන මානසික විලංගු වලින් අප නිදහස් විය යුතුය. මෙම මානසික විලංගු නම් තණ්හාව, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, ලෝභකම, කුහකකම, උඩඟුබව ආදියයි. මේවා මගින් අප සංසාරයට බැඳ තබා ඇත. බුදුන් වහන්සේ පෙන්වාදී ඇත්තේ මිනිසුන්ට මෙම විලංගු වලින් ගැලවිය හැකි බවයි. සත්‍ය තත්ත්වය අවබෝධ කොටගෙන ක්‍රම ක්‍රමයෙන් සිත පිරිසිදු කර ගැනීමෙන් මේවායින් මිදිය හැකිය. දුප්පත් බවින් මිදීම, ජාතිවාදී ආගම්වාදී ගැටුම් තුරන් කර සමාජ සාධාරණත්වය ඇති කිරීම ස්වාභාවික පරිසරය ආරක්ෂා කිරීම අපගේ ප්‍රධාන අරමුණු විය යුතුය. එහෙත් ධර්මය කෙමෙන් කෙමෙන් අප අතුරින් නොපෙනී යනු පෙනේ. එය වැළැක්වීම සඳහා කඩිනම් එහෙත් දුරදක්නා නුවණින් යුතු වැඩපිළිවෙළක් අවශ්‍යය. එය දහම පදනම් කොට ගත් ආධ්‍යාත්මික, ආර්ථික, සංස්කෘතික හා සමාජමය සංවර්ධන වැඩසටහනක් විය යුතුය. දහමෙහි සාරය හඳුනාගෙන එය අපගේ ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා උපයෝගී කරගත යුතුය. එවිට අපගේ ආකල්ප, වටිනාකම් මෙන්ම අරමුණුද වෙනස් වනු ඇත.
අපගේ හදවත් තුළ ඇති පෑරීම් හා වේදනාවන් සමනය වනු ඇත. එමගින් සමාජයේ ඇති එවැනි තත්ත්වයන්ද සමනය කළ හැකිය. ධර්මය පරපුරෙන් පරපුරට දිගුකාලීනව ගෙනයාම සඳහා නව පරපුරට දහම කියාදීමේ නව ක්‍රමවේද බිහිකළ යුතුය. අද තරුණ තරුණියන් බොහෝ දෙනෙක් ආගම දහම දකිනුයේ පුද පූජා, වත්පිළිවෙත් සහිත අභිචාර සමුහයක් ලෙසය. නැතහොත් තම සංස්කෘතිය හා ජාතික අනන්‍යතාවය රකින කටයුතු හැටියටය. ඔවුන් දකින්නේ දහමෙහි පිටපොත්ත පමණි. සාරය නොදකිති. දහම පිළිපැදීමෙන් ආධ්‍යාත්මික මෙන්ම සමාජ ආර්ථික දියුණුව ස`දහා එහි ඇති පිටුවහල නොදකිති. දැනට පවතින තමා පිනවීම මූලික කරගත් ද්‍රව්‍යාත්මක ජීවන රටාව මගින් බුදු දහම රැුක ගැනීම අපහසු වනු ඇත. දහම දැකිය යුත්තේ ආධ්‍යාත්මික සංවර්ධනයද ඇතුළත් වන ජීවන මාර්ගයක් ලෙසය. එමගින් අපගේ ආකල්ප, වටිනාකම් හා අනාගත බලාපොරොත්තු ආමන්ත්‍රණය විය යුතුය. අපගේ සිත් සනසා ලෝකයාගේ සිත් සැනසීමටද එය උපකාරී වනු ඇත.

බොදු අරුණ පදනමේ අරමුණු හා පරමාර්ථ

 

දැක්ම

බෞද්ධ දර්ශනයේ ඉගැන්වෙන මානව සාරධර්ම හා ශිල්පීය ක්‍රම අනුගමනය කිරීම සඳහා නිදහස් චින්තනය, නිර්මාණශීලිත්වය, ව්‍යවසායකත්වය, ප්‍රජාව දිරිගන්වා පහසුකම් සපයා ඔවුන් අතර ඵලදායිතාව, කළමනාකරණ හැකියාව සහ මානව ගරුත්වය ප්‍රවර්ධනය කිරීම තුළින් ප්‍රජාව අතර සමෘද්ධිමත් සමාජයක් සංවර්ධනය කිරීම.

මෙහෙවර

ප්‍රජාව අතර සොඳුරු ධාර්මික විප්ලවීය වෙනසක් ඇති කිරීම සහ උතුම් මානව ගුණාංග අනුගමනය කිරීමේ පුනරුදයක් බිහි කිරීම.

දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව හා සමානාත්මතාවය මිනිසත් බව අලුත් කරන සතර සංග්‍රහ වස්තූන් වේ.

( ගෞතම බුදුරජාණන් වහන්සේ )

බොදු අරුණ ලිපි

අප හා සම්බන්ධ වන්න

boduaruna@gmail.com